ආදරේ අගුළු 🥀


 ආදරේ අගුළු 🥀

" ඔහොම ඉන්න මාත් එනවා "

මට පිටිපස්සෙන් කවුද කාටදෝ කියනවා ඇහුණා. මං හැරිල බැලුවෙම ඒ කටහඩට. ගෑණියෙක්ගෙ හැගීම් හිතුමතේට අවුස්සන්න පුලුවන් කටහඩක්. එයාගෙ උගුරු දණ්ඩ කැපිල පේන තරම් එළියට ඇවිත්. ඒ කටහඩේ පිරිමිකම ඕනෑවටත් වැඩිය පිරිල තිබුණා.

ඉස්සල්ලම මගේ ඇස් ගියේ එයාගෙ කොණ්ඩෙට. හුගක් කැරලි ගැහිලත් නැති හුගක් හිතුවක්කාරත් නැති තද කළු පාට කොණ්ඩයක් එයාට තිබුණෙ. වම් පැත්තට ද දකුණු පැත්තට ද ? අනේ මංදා මට හරියට ම මතක නෑ. කොහොම හරි නළලෙ එක පැත්තකට ඒ කොණ්ඩෙ බර වෙලා තිබුණෙ. මං එයාව දැකපු ඒ විනාඩියට දෙකට එයාගෙ ඇගිලි දෙතුන් පාරක් ම ඒ කොණ්ඩ කැරලි අතරින් යනව මං දැක්කා.

එයාට තිබුණෙ හිනාවෙනකොට පුංචි වෙන ඇස් දෙකක්. නවකතා වල වගේ මටත් කියන්න ඕනෙ එයාගෙ ඇස් නිල් පාටයි නැත්තම් කොළ පාටයි කියලා. ඒත් ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල මිනිස්සුන්ගෙ ඇස් බොහෝ විට කළු හෝ දුඹුරු පාටයි. ඒ පාට දෙකෙන් එකක් එයාටත් තියෙන්න ඇති.

 අව්ව සැර නිසා ඒ කොයි පාට ද මට හරියටම පෙනුණෙ නෑ.

ඇත්තම කියනව නම් මට ඒ වෙලේ ඕනෙ වුණා දුවගෙන ගිහින් ඒ ඇස් වලට එබිලා ඒවගෙ පාට හරියටම දැන ගන්න. ඒත් මං කෙල්ලෙක්. ඒ හැගීම මගේ ආසාව යට ගැහුවා. කෙල්ලෙක් උනාම සමහර තැන් වල දී හීලෑ වෙන්න ම ඕනෙ. එහෙම වෙන්නෙ එයාලට හැගීම් දැනීම්, ආසාවල් නැතුව නෙමේ. සමාජෙන් වල් ගෑණියක් කියලා හංවඩු ගහයි කියල බයට.

මං කිය කිය හිටියෙ එයා ගැන. ඊළගට තොල්. කාලයක් තිබුණු රෝස පාටට අලුතින් කළු පාට එකතු වෙලා. දවසට සිගරට් කූරු දෙක තුනක්වත් ඒ තොල් අතරෙ දැවටෙනව ඇති. කොච්චරක් ලෙඩ හැදුවත් ඒ සිගරට් කූරු වාසනාවන්තයි ඒ ඇගිලි වලින් තොල් වලටත් තොල් වලින් ඇගිලි වලටත් මාරු වෙවී ඉන්න.

නිල් පාට ඩෙනිම් කලිසම. ඊට උඩින් ඇදපු සුදු පාට අත් දිග කමිසෙ. කමිසෙ උඩ බොත්තම ඇරිලා. එක්කො ඒක ගැලවිලා. නැත්තම් හිතා මතා ම නොදා ඉන්න ඇති. ඔය කවුරුත් නෑ නෑ කිව්වට ඒව තමයි පිරිමි මායම්.

මං හිටපු තැන ඕනෙතරම් මිනිස්සු ඉන්න ඇති. ඒත් මට පේන්නෙ එයාව. තව එයා දිහා හැරිල බල බල යන කෙල්ලොත් හිටියා. එයාලටත් මට වගේ හිතෙනව ඇති අඩු වැඩි වශයෙන්.

සමහර වෙලාවට කොල්ලෙක් දෙන්නෙකුත් එයා දිහා අමුතු විදිහට බලන් ඉන්නවා. අපි " ඊයා " කියල කිව්වට, සදාචාරසම්පන්න නොවුනට එහෙම දේවලුත් ඕනෙතරම් තියෙනවා. එයාලා උනත් හොරැහින් බලන්නෙ තමන්ට දැනුණු කෙනෙක් දිහා නෙ.

මට ඕනෙ උනේ එයා ගැන ඔයාලට කියන්න ඇති තරම් වචන අහුලගන්න. මං කියවපු කවි, කතා ඔක්කොම අස්සෙන් ගිහින්. ඒත් ඒවගෙ පිරිමි ගැන ලියල තිබුණෙම නැති තරම්. ගෑණු ගැන නම් ඕනෙවටත් වඩා. සදවන් මූණ, හංස පියයුරු, ලා දුඹුරු තන පුඩු, රන්වන් නැබ, දුහුල් සළු, පැද්දෙන නිතඹ.

එහෙම බැලුවම පිරිමි හරි වාසනාවන්තයි. ලස්සන ගෑණියක් දැක්කම කවි පද දෙක තුනක් දාලා උන් ව ගව් ගානක් උඩින් තියන්න පුලුවන්. 

සාහිත්‍යයට පිරිමින් ව අමතක උනාම ගෑණු අපි හරි අසරණයි. අපිට වෙන්නෙ රෝම පිරුණු පපුවකට තුරුල් වෙලා කකුල් අස්සෙන් පිම්බෙන පුරුෂ අවයවය දිහා බලන් හූල්ලන්න. මොකද පිරිමින්ට වෙලාවක් නෑ ගෑණු ආදරෙන් මුමුණන වචන අහගෙන ඉන්න. උන්ට ඕනෙ ගෑණියෙක්ගෙ ඇගට පැනල ඉක්මනට පුරුෂ ධාතු පිට කරල නිදහස් වෙන්න. හති වැටුණම ගෑණිව බදන් නිදාගන්න.

මං හිටියෙ පට්ට දවාලෙ පාරක් අයිනෙ හිටගෙන මගේම හිතයි හැගීම් එක්කයි තර්ක කර කර. ඒ හැම හැගීමකම කෙළවර එයා හිටියා. මං විනාඩි කීපෙකට කලින් දැක්ක නමක් ගමක් දන්නෙ නැති දෙපාරක් හැරිල බලන්න හිතෙන තරමෙ ලස්සනක් තියෙන ඒ පිරිමි රූපය.

" එස්කියුස් මී චූටි මිස්... ඒයි ඔයාට තමයි කතා කරන්නෙ. මගෙ බයික් එක ගන්න ඕනෙ. ඔතනින් චුට්ටක් එහාට වෙන්න පුලුවන් ද?"

ආයෙත් ඒ කටහඩ. මාව ගැස්සිලා ගියා. හදවත ගැහෙන තරම මට ම දරාගන්න බැරි තරම්. එයා ඔලුව පහළට කරන් මං දිහා බලාගෙන.හරියට ම හුස්මක් ගත්තොත් ඇගේ වැදෙන තරම් දුරින්. ඒ මූණෙ යන්තම් තොල් එහෙට මෙහෙට කරලා හදා ගත්තු හිනාවක් තිබුණා. 

මගේ ඇස් සාමාන්‍යයෙන් අරින්න පුලුවන් ප්‍රමාණෙටත් වඩා ලොකු වෙලා. මාත් හිටියෙ එයාගෙ මූණ දිහා බලාගෙන. ඒත් පුදුමයි..මං මෙච්චර වෙලා හිත හිතා හිටපු පිරිමි රූපය දිහා බලාගෙනත් මට හිනා වෙන්න අමතක උන එක. ඒත් මට ඕනෙ හිනා වෙන්න නෙමේ. එයාගෙ පස්සෙන් දුවගෙන යන්න.

එයා මං දිහා ඇස් පුංචි කරන් බලන් ඉදල ඉදල බයික් එක තල්ලු කරන් අරන් ගියා. ඇයි තල්ලු කරන් යන්නෙ. රෝදෙ හුළං බැහැලා. පැච් එකක් වෙන්න ඇති.

ඒත් ගෑණුන්ට එහෙම පස්සෙන් දුවන්න බෑ. හැගීම් දැනෙන්න බෑ. දැනුනත් ඒක පිරිමියෙක්ට කියන්න බෑ. කොටින්ම කසාද නොබැදපු ගෑණු ළමයෙක්ට පිරිමියෙන් ගැන හැගීමක් දැනෙන්න ම හොද නෑ.

ඒවා සමාජෙන් දාපු නීති. නැත්තම් අපි හදාගත්තු නීති. හරියට දකුණු අතින් විතරක් බත් කන්න ඕනෙ වගේ. ඒත් වම් අතින් බත් කන අය නැද්ද? ඉන්නවා. එහෙම අය දැක්කම " අපෝ වම් අතින් ද කන්නේ ?" මිනිස්සු කියන්නෙ එහෙම. ඒ නිසා හැමෝම අමාරුවෙන් හරි දකුණු අතින් කන්න පුරුදු වෙනවා.

ඒ නිසා අපි හැගීම් හිර කරන් ඉන්න ඕනි. සමාජෙට ඕනෙ විදියට. ලොකු දම්වැලක් දාගෙන එක යතුරකින් විතරක් අරින්න පුලුවන් ඉබ්බෙක් එක්ක. අපි කැමති කෙනා නෙමෙයි අපිට කැමති කෙනා ඇවිත් ඒ අගුළු අරිනකල් ම.

එයා පේන තෙක් මානෙකවත් නැති තරම්. මට ඕනෙ ඒ මොහොත අමතක කරන්න නැත්තම් ඒ රූපෙ හදවතේ තැනක හරි පරිස්සමට තියා ගන්න.

" ඒත් ඇයි?" ඒ ප්‍රශ්නෙ ඇහුනෙ මගේම හදවතින්.

" ඇයි දැක්කෙ නැද්ද? එයා ලග තිබ්බෙ නෑ හරිම යතුර. " මං උත්තර දුන්නා.

" හ්ම්.." හදවත ඒ උත්තරේ බාරගත්තා. මං දන්නව ඒ කරන්නම දෙයක් නැතිමකමට කියලා.

Author ✍️ - Kavee

Comments