ආදරේ අගුළු 🥀
ආදරේ අගුළු 🥀 " ඔහොම ඉන්න මාත් එනවා " මට පිටිපස්සෙන් කවුද කාටදෝ කියනවා ඇහුණා. මං හැරිල බැලුවෙම ඒ කටහඩට. ගෑණියෙක්ගෙ හැගීම් හිතුමතේට අවුස්සන්න පුලුවන් කටහඩක්. එයාගෙ උගුරු දණ්ඩ කැපිල පේන තරම් එළියට ඇවිත්. ඒ කටහඩේ පිරිමිකම ඕනෑවටත් වැඩිය පිරිල තිබුණා. ඉස්සල්ලම මගේ ඇස් ගියේ එයාගෙ කොණ්ඩෙට. හුගක් කැරලි ගැහිලත් නැති හුගක් හිතුවක්කාරත් නැති තද කළු පාට කොණ්ඩයක් එයාට තිබුණෙ. වම් පැත්තට ද දකුණු පැත්තට ද ? අනේ මංදා මට හරියට ම මතක නෑ. කොහොම හරි නළලෙ එක පැත්තකට ඒ කොණ්ඩෙ බර වෙලා තිබුණෙ. මං එයාව දැකපු ඒ විනාඩියට දෙකට එයාගෙ ඇගිලි දෙතුන් පාරක් ම ඒ කොණ්ඩ කැරලි අතරින් යනව මං දැක්කා. එයාට තිබුණෙ හිනාවෙනකොට පුංචි වෙන ඇස් දෙකක්. නවකතා වල වගේ මටත් කියන්න ඕනෙ එයාගෙ ඇස් නිල් පාටයි නැත්තම් කොළ පාටයි කියලා. ඒත් ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල මිනිස්සුන්ගෙ ඇස් බොහෝ විට කළු හෝ දුඹුරු පාටයි. ඒ පාට දෙකෙන් එකක් එයාටත් තියෙන්න ඇති. අව්ව සැර නිසා ඒ කොයි පාට ද මට හරියටම පෙනුණෙ නෑ. ඇත්තම කියනව නම් මට ඒ වෙලේ ඕනෙ වුණා දුවගෙන ගිහින් ඒ ඇස් වලට එබිලා ඒවගෙ පාට හරියටම දැන ගන්න. ඒත් මං කෙල්ලෙක්. ඒ හැගීම මගේ ආසාව යට ගැහුවා. ක...